Monday, March 11, 2013

ඔහුගේ කතාව - [සයිමන් නවගත්තේගම]

මා මහනුවර ගිය පළමුවන වාරය එය නොවූ නමුත් ඊට පෙර ගිය හැම වතාවකදීම දවසකට දෙකකට වඩා මම එහි නො නැවතුණෙමි. එහෙත් විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා එහි ගිය මම දින පහළොවක්ම මෙවර ගත කෙළෙමි. මා ගොස් සිටියේ මගේ අනාගතය කෙරෙහි මහත් සේ බලපෑ හැකි විභාගයක් ගැනීම සඳහායි. එහෙත් නුවර ගත කළ කාලය තුළ විභාගය ගැන පමණක් නොව මා ඇසූ දුටු දේ පිළිබඳව ද මා දැඩි සැලකිල්ලක් දැක්වූයේ පිළිම ගෙයකට ඇතුලූ වූ කුඩා දරුවෙකු මෙනි.

මා ඉගෙනීම සඳහා නැවති සිටි අනුරාධපුර පළාතේ අවුරුද්ද මුළුල්ලේම දැඩි නියඟයකි. උදේ සිට රෑ වනතුරු වැහි වළායෙන් තොර අහසෙහි සැරිසරන සූර්ය තාපයෙන් පීඩා විඳන්නේ වාතය පමණක් නොවේ. ගස් කොළන්, මහපොළොව පමණක් නොවේ. තිසා වැවේ ජලය බිංදුව දක්වා සින්දවන ඒ හිරු රැසින් අපේ ඉන්ද්‍රියයෝ ද මැළවී හැකිළෙති. එහෙත් සිසිල් දේශගුණයක් සහිත අමුතු පරිසරයකදී මැළවුණ ඉන්ද්‍රියයෝ නැවත පණ ලබති. නුවරදී මා ඇසූ දුටු ලොකු කුඩා සැම දෙයක් කෙරෙහිම මගේ සිත වහා දිව ගියේ මගේ ඉන්ද්‍රියයන් එහිදී ලැබූ ප්‍රාණය නිසා වන්නට ඇත.

මගේ විභාගය පවැත්වුනේ පේරාදෙණියේ විශ්වවිද්‍යාල ගොඩනැගිලිවල ය. සවස තුන හමාරට එදින නියමිත විභාගය අවසන් කල මම ආපසු නුවරට පැමිණියේ මහා තෙහෙට්ටු ගතියකිනි. මල්වතු විහාරයේ මා නැවතී සිටි කාමරයේ මඳ වේලාවක් ගත කළ මම භික්ෂූන්ගේ ශරීර දෝවනය සඳහා මහනුවර වැව අයිනේ ආවරණය කරන ලද ජලාශයෙන් ඇඟ සෝදාගතිමි. සීතල දියෙන් සේදුණ දහඩිය සමග වෙහෙස ගතිය ද සේදී ගියේ ය. රාත්‍රී කෑම ගත් මම ඇ‍ඳෙහි නිකමට වැතුරුනෙමි. ගණනට වඩා මඳක් පිරුණු උදරයේ හිර කමක් දැනුණ ද ඇල් දියෙන් සප්පායම් ලැබුණු මගේ ඇඟට මහා සනීපයක් දැනුණි.

මම උදේ මේ කාමරයෙන්ම පිටවූ තැන් සිට ආපසු පැමිණෙන තෙක් ඇසූ දුටු දේ, විභාගය ආදිය නැවත මෙනෙහි කළෙමි. ඒ අතරිනුත් මගේ ඇස කන දැඩිව බැඳගත් දේ මම නැවත නැවතත් මෙනෙහි කළෙමි.

අසල කාමරයේ ඔරලෝසුවක එකොළහ වදිනු ඇසූ මම පුදුම වීමි. මා මෙතරම් වෙලා කල්පනාවේ ගිළී සිටියේ ද? උඩුකුරුව වැතිරී සිටි හෙයින් මගේ පිට රත්වී තිබිණි. නිදිමතද සලකුණකුදු දෙනෙතට නොදැනේ. මම ඇ‍ඳෙහි වාඩි වූයෙමි.

ඇඳ අසල මිටි කනප්පුව මත කුප්පි ලාම්පුවකි. නොවසන ලද දොර පළුවෙන් ඇතුල්වන ශීතල මුදු සුළගෙහි පැටලෙන පහන් දැල්ල ඒ මේ අත තාලයකට පැද්දෙයි. කාමරයේ එහා කොනෙහි වූ දැව බඩු කීපය යම්තම් පෙනී නොපෙනී යයි.

ලාම්පුව හැරුණු විට කනප්පුව මත ප්‍රශ්න පත්‍ර කීපයකුත් පොත් දෙකකුත් වෙයි. මගේ නෙත් දිවගියේ එක් පොතක් තුලින් මෑත්වූ ලියුම් කවරයක් වෙතයි. මම එය අතට ගත්තෙමි. එය මගේ පාසලේ මිතුරියක විසින් එවන ලද්දකි. එය මට තැපෑලෙන් ලැබුණේ උදේයි. එහෙයින් ලියුම දිග නොහැරම එහි පැහැදිළි රවුම් අකුරෙන් ලියා තිබූ සමහර පාඨ මතක් කර ගත හැකි විය.

"ඔබේ විභාගය ඉතාම පහසු ඇති නේද? ඔබ විභාගයෙන් උසස් ලෙස සමත්වේය යනු මගේ එකම පැතුමයි.

මීට

ඔබේ

බී. මැණිකේ" යි ලිපිය අවසාන කොට තිබුණි. 'මීට ඔබේ බී මැණිකේ' යන්නේ යම් කිසි සැඟවුණු අර්ථයක් සෙවීමට මා උදේ උත්සාහ කළ හැටි මට මතක ය.

ලිපිය ඔස්සේ මගේ සිතුවිලි යළිත් පාසල කරා ඇදුණි. පාසල ගැන සිතන විට වෙනදා විවිධ දහසක් දේ මගේ සිහියට ගලා එන මුත් දැන් මගේ කල්පනා සියල්ලම එතුණේ මට ලිපිය එවූ කෙල්ල වටායි. ඇගේ ලිපිය නිසා පිබිදුණු කල්පනාව ඇති මමම පාසල් ජීවිතයේ දී ඈ හා සම්බන්ධ සියලූම ජවනිකා සිහි කළෙමි.

ඈ කථා කළ සැටි- මට සැලකූ ආකාරය - සිනාසුණු සැටි මෙ සියල්ලගේම දැන් මට අමුත්තක් පෙනේ. මේ වර මා දැහැණින් මිදුනේ දෙක වදින විටයි.

මගේ ඇඟට අමුතු උණුසුමක් දැනුණි. නිදිමතේ සළකුණකුදු දෙනෙතට තවම නොදැනේ. ඇඳ වියලේ දමා තිබූ කමිසය හැඳගත් මම පහන නිවා දමා දොර පියන ද වසා කාමරයෙන් පිටවීමි.

යම්තමින් එළිය කරන ලද කාමරය තුළ මාගේ ම සිතුවිලිවල එල්බගෙන පිටත වසන- ලද ඇස්කන් දොරින් යුතුව සිට, විදුලි පහනින් ආලෝක කරන ලද එළියට පැමිණිමත් සමඟම මගෙ ගත සිත වහා පුබුදු විය. මගේ මොළය වටා කැරකුණු සිතුවිලි මීදුම විසිරිණ. මගේ සිත එක් අරමුණක නොවන නමුත් දළදා මැඳුරට එහායින් අහසට නැඟී සිටි මහ කන්ද මෙන් නිසලය; සන්සුන්ය.

වේලාව රාත්‍රී දෙක වුවද නගරයේ ඝෝෂාව එතරම් අඩු නොවී ය. විදුලි පහන් කණු වලින් සැරසුණු විථී හරස් පාරවල් දිගේ නොනැවතී ඒ මේ අත දුවන බස් කාර්වල හඬ - දුම්රියේ ‘හූ’ හඬ මගේ දෙකනට ගලා ආවේය. කාමරය තුළට වී මේ සියල්ලටම ගොලූව සිටි මා ඒවාට ඇහුම් කම් දුන්නේ කලක් බිහිරිව සිටි එකකු මෙනි.

මම නුවර වැව වටා දිවෙන තාර පාරට බැස්සෙමි. වැව් දිය පහස ගෙන හමන සුළඟ සීතල වූ නමුත් මගේ දෙපා පිසගත් තාර පාර උණුසුමෙන් යුක්ත විය. සවස් කාලයට විනෝද සවාරි සඳහා එන ගැහැණුන්ගෙන් පිරිමින්ගෙන් මේ පැත්ත පිරෙන නමුත් දැන් එකෙකුදු පේන තෙක් මානයක නැත. වැව් ඉවුරෙහි තබන ලද "විවේක ආසන" පින්නට ඇරී තිබේ. මම තවත් ටිකක් දුරට ගමන් කළෙමි.

විදුලි එළිය පවා මැඩගෙන පාරෙත් වැවෙත් - විශාල පෙදෙසක් අඳුරේ ගිල්වාගෙන සිටි මහ රුස්ස ගසකට එහායින් වූ බංකුවක හිඳගෙන හුන් මිනිසෙකු දුට මම පුදුම වීමි. කුණු තැවරී සායම් වියැකුණු පරණ කබායකුත්, කලිසමකුත් ඔහු හැඳ සිටින බව ළංවී බැලූ මට පෙනිණ. ස්නායු දුර්වලතාවයකින් මෙන් ඔහුගේ දෙවුර ද හිස ද සෙළවෙයි. වරින් වර පැද්දෙයි. පුටු ඇන්දට හොඳට හේත්තු වී සිටී ඔහු වරින් වර දළදා මාලිගාව දෙසත් වතුරේ පාවෙන සෙවණැලි දෙසත් බලයි. ඔහුගේ එක් අතක් පණ නැතිව මෙන් පුටුවෙන් පහළට එල්ලෙමින් තිබූ අතර අනික් අතේ ඇඟිලිවලට තරයේ හිරවුන බෝතලයක් විය. මම තවත් ඔහුට ලංවීමි. බිම වැටී තිබූ දිරා ගිය කුඩා අත්තක් මගේ පතුලට හසුවී බිඳුණි. එහෙත් එහි ශබ්දය ඔහුට ඇසුණ බවක් නොපෙනිණි. හොරණෑවක් පිඹින්නෙකු මෙන් දෙකම්මුල් පිම්බෙන සේ කටට සුළං පිරවූ ඔහු ශබ්ද නගා පිට කළේය. බෝතලය මුහුණට කෙළින් ඔසවා ඊට ඔරවා බලා දත් විරිත්තා සිනාසී බෝතලයේ කට තබාගත්තේ ය. උගුරක් ඉහළට ඇද නික පහළට බේරුණ දියර පිස දමා "ඇයි හිටගෙන ඉන්නේ? වාඩිවෙන්න" යි කීවේය.

මම පුදුම වුයෙමි. ඔහු මා දෙස එක් වරකුදු නොබැලූවේය. කතා කළේද මා දෙස බාලගෙන නොවේ. මා එහි සිටින බව ඔහු දැනගත්තේ කෙසේද ?

"කොහොමද දැක්කේ මා මෙතන හිටිය බව?" යි මට නොදැනුවත්වම කියවිණි.

"හිඃ හිඃ හිඃ හි- -" යි සිනාසෙමින් මේ වර හේ මා දෙස හිස හරවා බැලූවේය. "මේ බෝතලේ මැදින් නොපෙනෙන්නේ මොකක්ද පොඩි මහත්තයා? එන්න එන්න-. වාඩිවෙන්න-. හිඃ හිඃ - පොඩි මහත්තයට ඒක තේරෙන්නේ නෑ මම කොහොම පැහැදිලි කළත්. මේ-. බෝතලේ මොකක් ද කියලා දන්නව ද? නෑ- නෑ- පොඩි මහත්තයට තේරෙන්නේ නැහැ- ඒක-. ඒක තේරුම් ගත්තේ ඕ- මාර්- ඛ- ඛ- ඛායම් හැරෙන්නට - මම විතරයි. හිඃ හි" යි දත් විළිස්සා පිළිකුල් ලෙස සිනාසුණ ඔහු බෝතලය සිඹ බංකුවේ එහා කොනට විය. මම මෙහා කොනෙන් වාඩි වීමි. ඔහු වෙතින් නිකුත් වූ රා ගඳත් දහඩිය ගඳත් මගේ නැහැය හැකිළවීය. ඔහු සාක්කුවකින් කබල් ලේන්සුවක් ඇද එයින් බෝතලය පිස දැම්මේය. තවත් උගුරක් ද ඇද්දේ ය.

සිහින් රැළි නංවමින් හෙමින් හෙමින් පෙරෙළෙන දිය කඳ දෙස මොහොතක් බලා සිටි ඔහු හදිසියේම බෙල්ල කරකවා මුහුණ මා දෙසට හරවා, " මාව කොයි වාගෙ මිනිහෙක් කියලද ඔබ හිතන්නේ?" යි ඇසුවේය.

විදුළි පහන් එළිය වැටුණු ඔහුගේ මුහුණ මට පැහැදිලිව පෙනෙයි. නොපීරණු ලැබු කෙස් වැටියෙන් ඔහුගේ නළල සම්පූර්ණයෙන් ම වැසී ඇත. සිහින් නුවුව ද සුදු කළු රැවුල් කොටෙන් පිරි මුහුණ රැළි ගැසී තිබේ. උඩට හැරවුණු නාසය ද, බීමත් කම නිසාදෝ පහතට එල්වුණු ඔහුගේ යටිතොල ද , ඔහුගේ මුහුණට අමුතු පෙනුමක් ලබා දී තිබුණි. රැළිවලින් වටවී තිබූ දෙ ඇස් ඇරී තිබුණේ යන්තමිනි. ඔහු නැවතත් තම ප්‍රශ්නය ප්‍රතිරාව කළේ ය.

"මම කොහොම කෙනෙක් කියලද ඔබ හිතන්නේ?"- මේ වර ඔහු මා දෙස බැලූවේ සමච්චල් සිනාවකින් සැරසුණු දෙනෙතකිනි.

මා පිලිතුරු දීමට පෙර නැවතත් ඔහුම කතා කළේය. " මම නිකම්ම නිකම් බේබද්දෙක් කියල නේද ඔබ හිතන්නේ. ? - කමක් නෑ - ලෝකයා මොනවා කීවත් කෙරුවත්, මාත් ඔබත් ලෝකයේ අනික් කොයිම මිනිහෙක් වුවත් අතර වැඩි වෙනසක් නෑ- තේරුණාද? මගේ ඇඳුම් වැරහැළි බව ඇත්ත- නමුත් ඔබේ ඇඳුම් පිරිසිදුයි. මොකක්ද වෙනස? - ඔබ ලෝකයාට ඕන විදියට ඇඳුම් පැළඳුම් අදිනවා- ජීවත් වෙනවා- මම මට ඕනෑ හැටියට ජීවත් වෙනවා- මම කිසිම උත්සාහයක් ගන්නේ නෑ සමාජෙට ඕනෑ හැටියට වැඩ කරන්ඩ- එච්චරයි" ය ඔහු කියාගෙන කියාගෙන ගියේ ය. ඔහුගේ කට හඬ ගොරෝසු ය. ඉඳ හිට ඉහළට කැරකී එන රා සැර නිසා ඇණ හිටිය ද, රා වමාරන්නාක් මෙන් ඔහු කතා කළේ ය.

"මොන විධියෙන් සැරසිලා හිටියත්, මොන සුවඳ විලවුන් මූනේ තවරාගෙන හිටියත් හැම ගෑනියෙකුගේම, හැම මිනිහෙකුගේම මූහුණක් දිහා බලපුවාම එකපාරටම පේන දෙයක් තමා ඒ හැම මූණකම ‘මහා හිස් කමක්’ කැවිලා තියෙන බව. අපි මේ සේරම කරන්නේ මේ හිස් කම වහ ගන්න තේරුණා ද? මහත්තයා පොත් පත් බලනවා ඇති - ඉගෙන ගන්නව ඇති - තව කෙනෙක් ආගම ධර්මය ඉගෙන ගන්නවා - සිල් ගන්නවා - තව කෙනෙක් සිනමා බලන්නට යනවා - තවත් කෙනෙක් ගණිකා මඩුවේ පැය විසි හතරම ගෙවනවා - මම බෝතලේ තුරුල් කරගෙන දවස් ගත කරනවා - අපි සියලූ දෙනාම මේ සියල්ලම කරන්නේ අර හිස් බව වසාගන්න- ඒ හින්දා සිල් රකින කෙනෙකුත්, මාත් අතර පරමාර්ථ වශයෙන් කිසිම වෙනසක් නැහැ නේද මහත්තයා- හිඃ හිඃ හිඃ යි සිනාසෙමින් ඔහු බෝතලය කම්මුලට තබා තද කළේය. තවත් උගුරක් බීවේ ය.

මුළදී මේ බේබද්දා කෙරෙහි මා තුළවූ පිළිකුල කෙමෙන් අතුරුදහන් විය. අභිනික්මන් කොට සිතට කයට දුක් දී සත්‍යය අවබෝධ කළ මුණිවරයෙකුට මෙන් මම ඔහුට ඇහුම්කම් දුන්නෙමි.

මා සැලකිල්ලෙන් ඔහුට කන්දෙනු දුටු ඔහු තවත් මා දෙසට හැරුනේ ය. අවුරුදු ගණනක සිටම තම අදහස් හෙළි කිරීමට කෙනෙකු සොයමින් නොඉවසිළිමත්ව සිටි එකෙකු මෙන් ඔහු කතා කළේය.

"මම මේ සත්‍යය සොයා ගත්තේ කෙසේ ද? කවද ද? කියල මත්තමයට දැන ගන්ට ඕනෑ ඇති නේ ද? ඒක මට කියන්ට බැහැ මත්තමයා. මම බොන්ඩ පටන් ගත්තේ ඒක අවබෝධ කරළා නෙවී. බොන කොටයි මට ඒක අවබෝධ වුනේ- ඒ වගේ ම ඒ කාලේ - ඒ කියන්නේ මේ මහත්මයාගේ වයසේ, මම කවදාවත් හිතුවේ නෑ මගේ ජීවිතේ මේ විදයට වෙනස් වෙයි කියලා" යි ඔහු දෙකම්මුල් පිම්ඹෙන සේ කටට හුළං පුරවා ශබ්ද නඟා පිට කළේ ය.

" ඔබ මේ තත්ත්වයට වැටුනේ, බොන්නට පුරුදු වුනේ, මොන හේතුන් නිසා ද? යි මම ඇසිමි.

"ඒක තමයි මටත් තේරුම් ගන්න බැරි- මම මේ තත්ත්වයට වැටුණේ ඇයි කියලා මට ම තේරුන්නේ නෑ මම මගේ පොඩි කාලේ ඉඳලා ජීවිතය අවුස්සලා බැලූවා- අර පිට - මේ පිට හරවාලා බැලූවා- ඒක අස්වාභාවික සිද්ධිවලින් ගහණ බව ඇත්ත- ඒ උණත් මේ විදියට ජීවිතේ හැඩ ගැහුණේ ඇයි කියලා මට ම තේරුම් ගන්න බැහැ-" යි කියමින් ඔහු, බොත්තම් කැඩීගිය කමිසයෙන් එළියට නෙරා තිබු උදරය අත ගෑවේය. තවත් රා උගුරක් බීවෙය.

" මේ ජෝසප් කොළිජියෙන් සීනියර් පාස් කරන කොට හොඳ කඩවසම් ඉලන්දාරියක්" යි තම ජීවිත කථාව කීමට අර ඇන්දේ ය.

මිලිටරි කාලේ පරණ ලොරියක් අප සිටි තැන පසුකොට මහ හඬින් ඇද්දුණේය. සඳ පහනිනුන්, විදුළි එළියෙනුත්, වැවේ එහි ඉවුර වටා ඇති දළදා කලා සම්ප්‍රදායේ තාප්පය සුදට සුදේ බබළයි. ඉහළ සිට පහළටම විදුලි බුබුළෙන් සරසන ලද ක්වීන්ස් හෝටලයේ ඡායාව නිශ්චල වැව් දියේ පිලිබිඹුව තිබේ. ගණ අදුරෙන් වැසුණු කන්ද පසුතලය කොටගත් දළදා මාළිගය පැහැදිළිව නොපෙනුණද, ඊට කෙළින් වැව මැද පිහිටි කුඩා දුපතෙන් අහසට නැඟුණු උස පොත් ගස් කීපය අතු පොරවාගෙන නිසලව සිටිනු හොඳින් පෙනේ.

"සීනියර් පාස් කළායින් පස්සෙ මම වෙන කොළීජියකට ගියා වාසිටි එන්ට්‍රන්ස් කරන්න- එතකොට මගේ වයස අවුරුදු දහනමයයි. ඒ ක්ලාස් එකේදී තමයි මගේ ජීවිතේ අමුතු තත්ත්වයකට හැඩ ගැසුනේ. ඒ සේරටම මුල ඈ"යි- කී ඔහු අහස දෙසා බලා සිනාසුනේ ය.

"ඈ කියන්නේ?

"ඈ- සෝමා- දැන් මගේ නෝනා-"

"එහෙනම් ඔබට පවුලකුත් ඉන්නවා"

"ඔඃ ඔඃ ඔව්, ඉන්නවා"

"ඉතින් ඉතින්"

"ඒ කාලේ මම බෝඩිම් වෙලා හිටිය ගෙදර අයිතිකාරිගේ දුව තමයි සෝමා. ඈ හොඳ හැදිච්ච කෙල්ල. ඒ තරම් යහපත් කෙල්ලක් මම කවදාවත් දැකලා නෑ. ඒ අහල පහළ කවුරුත් කතා කළේ ඇගේ හොඳමයි. ගති. ගුණ වගේම ඈ ලස්සනයි. මුලදී මම ඈට කිසිම සැලකිල්ලක් දැක්කුවේ නැහැ. නමුත් දන්නවනේ ඔය වයසේදී අපේ හිත්? හැබැයි මුලදී ටිකක් අමාරු උණා ඈ ‘වින් ඕවර්’ කර ගන්න. නමුත් එක ලියුමෙන් දෙකෙන් වැඩේ කරගත්තා- ඇත්තටම අයිසේ, මම ඒ කාලේ ගත කරපු හැටි. මම ජීවත් වුනේ අමුතුම ලෝකයක. පාසලේ වැඩ සියල්ලම මම අතපසු කලා. ලියුම් ලියන්නයි- ඈ හා කථාබහ කරන්නයි- ඈ ගැන හිතන්නයි- තමා පැය විසිහතරම ගත වුනේ.

අපේ මේ සම්බන්දෙට සෝමගේ අම්මගෙන් නම් වැඩි කරදරයක් වුනේ නැහැ. ඒ වුනත් සෝමගෙ තාත්ත හරි වස මිනිහ. ඒ මිනිහා ගෙදර ඉන්න වෙලාවට සෝම ගෙයින් එළියට බහින්නේ නැහැ. මිනිහා දැනගෙන තියෙනව කොහොම හරි අපේ සම්බන්ධෙ ගැන. දැනගන්න සෝමට හොඳටම ගහල බැණල තියෙනව. නමුත් සෝම ඒ බව මට කීවෙත් නැහැ. මා සමඟ තිබූ සම්බන්ධය අත්හැරියෙත් නැහැ. දවසක් මගේ කාමරේ ජනෙලෙ ළඟම ඇවිල්ලා මල් පොකුරක් විසිකළා කාමරේ ඇතුළට. සෝමගේ තාත්තා වැඩ ඇරිලා එන ගමන් ඕක දැකලා තියෙනවා. මිනිහා ඉඳලා තියෙන්නේ බීල. ආපු ගමන් මා ඉදිරියෙම සෝමව ගහක බැඳල හොඳටම තැලූවා ඈට කොපමණ හිරිහැර කළාද කීවොත් හොස්පිටල් එකේ ඈට ඉන්න වුණා. මමත් එදාම ඒ ගෙදරින් පිටවුණා-"

හදිසියේම හමන්නට පටන්ගත් සුළඟකින් මෙතෙක් නිසලව තිබූ දිය කැළඹිණි. අසල ගසෙහි සෙළවුණ අතුවලින් ගිලිහුණ පිණිබිඳු සට - සට ගා තණ බිම වැතිරී තිබූ කොළ මත වැටෙයි. ඈතින් නැගී ආ මීදුමෙන් දළදා මළුව පිටුපස කන්ද වටා තිරයක් බැඳෙයි. උණුසුම් වැව් දියෙන් නඟින හුමාළයෙන්, දිය මත ඒ මේ අත දිවෙන සෙවණැලි ටිකෙන් ටික වැසී යනු පෙණේ.

කසි කබල් සපත්තු දෙකිනුත්, අණ්ඩ වැටුණු කලිසමෙනුත් වැසුණු දෙකකුල් විහිදුවාගෙන බංකුවේ හොඳටම ඇලවී ඉදිරිය බලාගෙන සිටියි ඔහු, දැන් දැන් වේගයෙන් හමන සීතළ සුළඟ ගැන කිසි තැකීමක් නොකොට හේත්තු වී සිටි. ඔහුගේ බොත්තම් කැඩුණ පොඩිවුණ කමිසයෙන් ඉදිරියට නෙරූ රැළි ගැසුණ උදරයත් කලූ සුදු ලොම් වැසුණු පපුවත් මතුවී පෙනේ. තවත් රා උගුරක් බිව් ඔහු නිකට පිසදමා, කාරා කෙළ ගැසුවේ ය.

"ඉතින් මම සෝමගේ ගෙයින් පිටවෙලා වෙන තැනක නැවතුණත් ඇයව අමතක කරන්න කොහොමටවත් බැරි වුනා - ඈ අමතක කරන්න තියා, මම හොඳටම බයවෙලා හිටියේ ඇගේ තාත්තාගේ දඬුවම් වලට බයේ මාව අමතක කරයි කියලා.

අපේ වාර පරීක්ෂණය පැවැත්වූයේ ඒ දවස්වලයි - මට විභාගයට පෙනී සිටින්නත් බැරි වුනා - ඒ අතරම මා ගැන සම්පුර්ණ විස්තරයක් ගෙදරට ඇරලා තියෙනවා සෝමාගේ තාත්තා. අම්මා මට ගෙදරින් එව්ව මගේ තත්ත්වය පැහැදිලි කරල, දිග ලිපියක්- මගේ දුක සැප බලන්න හිටියෙත් මගේ ඉගෙනීමටත් අමාරුවෙන් වියදම් කළෙත් මගේ අම්මා තමා, නමුත් අම්මා එවූ ලිපිය මම හරියට කියෙව්වේ නැහැ.

දවස් දෙක තුනක් කුරුමානම් අල්ලලා මම ගියා හොස්පිටල් එකට සෝමාව බලන්න. ඔපමණ වද විඳලත් සෝමගේ හිතේ බිංදුවක වෙනසක් වෙලා නැහැ- මට තවත් මතකයි එදා මාව දකින කොට ඇගේ සුදු මැලි මුහුණට ලේ පුරපු හැටි. අන්තිමට ඈ මට කිව් වචන තවත් මගේ කනේ දෝංකාරය දෙනවා - මම දැනගෙන හිටියා මම දැනගෙන හිටියා ඔයා මාව හොයාගෙන ඒවිය කියලා - විමල්, අපේ තාත්තා මට දඬුවම් දීම අසාධාරණ නෑ - තාත්ත හිතන්නේ මගේ හිතුවක්කාර කමට වැඩ කරලා අමාරුවේ වැටෙයි කියලයි. ඔයා උත්සාහ ගන්නවා නම් මාව ගලවා ගන්න පුළුවන් ඉක්මනට ම - අපේ හදවත් වල අවංකකම විතරයි ඕනෑ - විමල්

මා එදා- හොස්පිටල් එකෙන් ගියේ මා කළ යුත්තේ මොකක්ද කියලා තීරණය කරගෙනමයි. එදාම මම මෙහි නුවරට ඇවිල්ලා අඳුනන මහත්තයෙකුගේ උදව්වෙන් ගත්ත රස්සාවක් කේ. වී ද සිල්වා සාප්පුවේ. නවතින්න ගේකුත් සොයා ගෙන මම ආපසු ගියේ සැහැල්ලූ සිතකිනුයි.

සෝමා මගේ යෝජනා සියල්ලටම කැමති වුනා - ඊට සතියකට පස්සේ අපි කාටත් හොරා මෙහේ නුවරට ආවා. මගේ අම්මා ගැනවත් සෝමාගේ අම්ම තාත්ත ගැනවත් මේ වනතුරු දැන ගන්නට නැහැ. - සෝමගේ තාත්තා අප ගැන පොලීසියටවත් දැනුම් දීලා නැති බව පේනවා. මට ලැබුණ පඩිය ඉතාම සුළු වුණත් සෝමා ඒ සුළු මුදල පිරිමහගෙන ඇහැක් විදියෙන් වැඩ කළා - හැබැයි වැඩි කල් ගත වුනේ නැහැ - තුන් මාසයක්වත් ගෙවුණේ නැහැ. සීනෙන්වත් නොසිතපු විදිහට අපේ කල දවස නරක අතට හැරෙන ලකුණු පහළ වුනා."

කෙමෙන් කෙමෙන් වඩාත් ගණව නැමෙන මීදුම් ඉමක් කොනක් නැතිව පැතිරෙයි. වැවෙන් එහා කඩ සාප්පු, දළදා මාලිගය, ගස් කොළන්, ඇති බවට සළකුණකුදු නැත. වැව මැද කුඩා දූපතෙන් අහසට නැඟුණු පොල් ගස් කීපය දුම්වලා අතරින් යන්තමට පෙනෙයි. මහ පාරවල විදුලි බුබුළු වළාකුල්වල එතුණු තරමෙන් යන්තමට පෙනෙයි. ක්වින්ස් හෝටලය පසුකොට ගිය මොටර් රථයකට කහ එළියක් පමණක් මීදුම දෙබා කරගෙන මඳක් ඈතට විහිදෙයි. කාර් බස්වල හඬ මීදුම තුලින් අප වෙත ගලා ආවේ පොළාවට වෙනත් ලෝකයක සිට එන ශබ්ද ලෙසිනි.

දණිස මත රැඳවූ එක් අතකින් අල්වාගත් රා බෝතලය දෙස ගිලූණු දෙනෙත කරකවාගෙත් ගමන් ඔහු නිසලව සිටියේ ය.

පළින් පළ ඉඳුණු ගස් සහිත රැවුල් පඳුරේ, ඔහුගේ අනෙක් අතේ ඇඟිලි පැටළී තිබුණි. අප අවට කැරකී කැරකී පැතිරෙන මීදුම ඔහුට නොපෙණේ. කම්මුල මත වූ අත අප්‍රාණිකව මෙන් පහළ හෙලු ඔහු නැවතත් තම කථාව ඇරඹුවේ ය.

"ටිකෙන් ටික කයත් සිතත් වෑරෙන ගතියක් මට දැනුණා. සෝමා සමඟ එක්වන දවස මම කොතරම් බලාපොරොත්තුවකින් ද හිටියේ? - කොතරම් උණුසුමකින් ද මා ඒ දවස බලාපොරොත්තු වූයේ? සෝමා ඈතින් ජීවත් වූ කාලයේ ඈ නොදැක මොහොතක් මා ගතකලේ කොතරම් වේදනාවකින්ද ? ඒ උණත් අපි දෙන්නට එකට ජීවත් වෙන්ට ලැබුණු දා ඉඳළ, ටිකෙන් ටික මා තුළ වූ ආශා, පැතුම් අතුරුදහන් වෙන්න පටන් ගත්තා - ඈ කෙරෙහි මා තුළ වූ ඇල්ම නැති වුනේ කෙසේ ද යි මටම ප්‍රෙහෙළිකාවක් - සවස වැඩ අවසාන වූවාම මට ගෙදර එන්න රුචියක් නැහැ - හැබැයි මේකට හේතුව මගේ අධ්‍යාපනය, ගැනවත් අම්මා ගැනවත් කල්පනා වීම නොවෙයි. මට තේරුම් ගන්න බැරි වුනා මට සිදුවූයේ මොකක්ද කියලා - සෝමා නම් කවදාටත් වඩා සන්තෝෂයෙන් කාලේ ගත කළා ජීවත් වුනා - මාව සනසන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කළා - ඒ වුනාට මට ජීවිතෙත් එක්ක එපාවෙන තත්ත්වයකට ආවා- සෝමා දකින කොටත් කෝපයක් අප්පිරියාවත් මගේ හිසට නැගෙන්න වුනා පස්සෙදී -

ඔන්න ඒ කාලෙදී තමා මට මගේ මේ යහළුවා හමුවුනේ" යි කියමින් ඔහු බෝතලය ඔසවා සිම්ඹේ ය. "ඔව්, මෙයා මාව යාළු කරගත්තේ නැත්නම්, එක්කෝ සෝමව ඉවරයි - නැත්නම් මාව ඉවරයි.

මම රැයකට පැය හතරක් පහක් මගේ යාලූවත් එක්ක මෙතැනම, මේ සීට් එකේම ගත කරන්ට පුරුදු උණා- ඔහොම හිටිය දවසකදී තමයි මට ඈ හමුවූයේ."

"කවුද ඒ?"

"එයාගේ නම මම දන්නේ නැහැ- මම ඈව ඇමතුවේ ලිලී කියලයි- දුප්පත්කම නිසා ඇගේ ලස්සන විකුණල ජීවත් වුන කෙනෙක් - නමුත් මා හමුවුනායින් පස්සේ ඈ ඒ ජීවිතේ අත් හැරියා- ලිලී නිසා මගේ ජීවිතේ තවත් වෙනස් වුනා. ජීවිතේ එපා වී සිටි මට ඈ නිසා ලැබුණ සැනසීම". ඔහු කතා කළේ හැඬුම් යන්ට ලංවූවෙකු මෙනි. ඔහුගේ දෙතොල සැළෙයි. බෝතලය සහිත ඔහුගේ අත වෙවුලණු මට පෙනුණි.

"ඉතින් එක් ගැහැණියක සමඟ ගත කළ ජීවිතේ කළකිරුණු ඔබ තව කෙනෙකුගෙන් සැනසීම ලැබුවේ කොහොමද?" යි මම ඇසිමි.

"අහන්න එපා මහත්තයා- මට උත්තර දෙන්න බැහැ - ඔය ප්‍රශ්නයම මමත් දහස් වාරයක් ඇහුවා මගෙන්ම මෙතැනම ඉඳගෙන - උත්තරයක් නැහැ - මීදුමෙන් ඇහුවා - උත්තරයක් නැහැ- මම දන්නේ ඈ නිසා මම ජීවත් වූ බව විතරයි- මම ජීවත් වුනේ ‘ලිලී’ තුළයි.

ලිලී සමඟ මේ ආශ්‍රයත් සමඟම මගේ බීමත්කම වැඩිවුනා මිසක අඩුවුනේ නැහැ. සෝමාගේ දුක්බර ජීවිතය හොඳටම කැපිලා පෙනෙන්නට පටන් ගත්තා. මාව බීමත් කමෙන් ගලවාගන්න ඈ නොදැරූ උත්සහයක් නෑ. ඒත් ඈ මොනවා කරන්නද? හැබැයි පස්සේ පස්සේ ඈ ගැන මා තුළ අනුකම්පාවක් ඇතිවුනා. මගේ සිතේ රුචියක් වූවත් ඈ සනසන්න මා ටිකක් උත්සහ කළා. මට ඕන වුනා ලිලී සමඟ තිබූ මගේ සම්බන්ධය රහසක්ව තබාගන්න. ඒ හින්දා වෙනදාට වඩා ටිකක් ආදරේ පෙන්නුවා සෝමාට. ඒ මොනවා වුනත් මගෙ මේ යාළුවා අතැහැරියේ නැහැ මම. ලිලීටවත් සෝමාටවත් බැරිවුනා මාව මේ යාළුවාගෙන් කඩන්න. ඒ දවස්වල කන්තෝරුවෙන් එන්නේ සිහි නැති වෙන තෙක් බී ගෙන…

මට සෝමාගෙන් වගේ ලිලීගෙන් සැප පහසුකම් ලැබුණේ නැහැ. සෝමා වගේ ලිලී මට ඇප උපස්ථාන කලේ නැහැ. මා කට ගොන්නක් බීගෙන යනවා. ලිලීගේ ගෙදර- ඒ දවස්වල මෙහෙම සිහියෙන් කතා බහ කරන්නවත් බැහැ මට බීපුවහම - ඉතින් වැනි වැනී මම යන්නෙ ඇගේ ගෙදර- ගියාම ලිලී මගේ හිස ඇගේ උකුලේ තියාගෙන හිස පිරිමැද මැද ඔහේ මොනවා හරි කියවනවා. නැත්නම් ඇගේ සුදුමැලි මුහුණ මගේ මුහුණට පාත්කරගෙන ඇගේ කඳුලූ පිරුණු ඇස් දෙකෙන් මගේ දිහා බලාගෙන ඉන්නවා. මට එහෙම වුන්නහැකි සුමාන ගණනක් බඩගින්නේ වුණත් - නමුත් සෝමා මැරීගෙන කරන උපස්ථාන මට මහා කරදරයක් - මට හොඳට තේරුනා සෝමා මට කොතරම් ආදරයකින් ද වැඩ කරන්නේ කියලා. ඈ දෙමව්පියන්ගෙන් වෙන්ව මෙතරම් ඈත ආවේ මා නිසයි - මේ තරම් දුක් විඳින්නේ මා නිසයි - මේවා සියල්ලම මට තේරුණා - නමුත් මා තුල සෝමා කෙරෙහි ඇති වුනේ අනුකම්පාවක් පමණයි. වෙනදාට වඩා මම ටිකක් සෝමට ආදරෙන් කතා කලා - සතියකට රාත්‍රී දෙකක් තුනක් ගෙදර නැවතුණා - නමුත් ඈ කෙරෙහි මගේ හිතේ බිංදුවක ආදරයක් තිබුනේ නැහැ-

ලිලීටයි රා බෝතලේටයි මම වඩාත් ආදරේ කළා. කන්තෝරුවට යනකොට වුණත් බෝතලේ නැතුව මට යන්ට බැරි තත්ත්වයකට ආව. එක සුමානයක් තිස්සේම මම ගෙදර ගියේ නැහැ- කන්තෝරු ගියෙත් නැහැ - ලිලීගේ ගෙදරට වෙලා බීගත් ගමන් මුලූ සුමානෙම වැතිරිලා හිටියා. සිකුරාදා උදේ 9 ට පමණ ඇති මම වැනි වැනී කන්තෝරුවට ඇතුල් වෙනකොට- එදා තමා කන්තෝරුවේ දොර මට වැසුණේ - මාසෙක පඩිත් සාක්කුවේ දමාගෙන මම කන්තෝරුවෙන් පිට වුණා. කෙළින්ම ගියේ තැබෑරුමටයි. අත්වලින්, සාක්කුවලින් ගෙනයන්ට පුළුවන් තරම් බෝතල් අරන් මා ගියා ලිලීගේ ගෙදරට - ලිලීට සියල්ලම කීවා - ඈ නොවේ වචනයක් කතා කලේ - මට හිස ඔසවන්ට බැරි තරම් අමාරුයි.

බිම පැදුරකයි මම වැතිරී සිටියේ - ලිලීත් මා පසෙකින් නිදාගෙන හිටිය - මම හිස හරවල බැලූව - ඉහාතෙ තිබු ලාම්පු එළියෙන් එළිය වුණු ඇගේ සුදු මැළි මුහුණ වූයේ මගේ හිස ළඟමයි."ලිලී මෙනවද ඉතින් අපි කරන්න ඕන" කියල මා ඇහුවා - ඈ කථාකලේ නැහැ - මගේ මුණ දිහාව හරවාගෙන සිටි ඇගේ ඇස් වලින් මොර ගෙඩි වගේ කඳුලූ බිංදු වැගුරුණා - ලිලීගේ උණුසුම් ප්‍රශ්වාසේ මගේ මුණ සිප ගත්ත- එතකොටම කවුදෝ දොරට තට්ටු කරනව ඇහුණ - ලිලී නැගිටලා කඳුළු පිසදාගෙන ඇඳුම සකස් කරමින් දොර ඇරිය - මම හුන් තැනින් හෙලවුනේ වත් නැහැ-

"මොකද? මොකද වුවමනාව?" කියලා ලිලී පුදුමයෙන් අහනවා මට ඇහුණා.

"මේ…මේ…විමල් කියලා කෙනෙක් ඉන්නවද මෙහෙ?" කටහඩින් මම හැදින්නා මට කතා කරන්නේ කවුද කියලා-

"වි- ම- ල්? නැහැ විමල් කියලා කෙනෙක් මෙහෙ නැහැ" යි ලිලී දොර හරස් කරගත්තා-

මම වෙරිමර ගාතේ දනි පනි ගාලා නැගිටලා ගියා දොර ලඟට - මාව දකිනකොට සෝමගේ මුහුණට නැගුණ හැඟීම් කොහොම කියන්නද ? අවතාරයක් දැක්ක වගේ ඈ කට අයාගෙන, ඇස් ලොඩි එළියට දමාගෙන මා දිහාවේ බලාගෙන වුන්න. ඉහළට එසවුණු ඇගේ අත් දරදඬුවීම නිසා පහත දමන්නට බැරිව වගේ එහෙමම තිබුණා.

"විමල් ඔ- ඔ- යා-" හීනෙන් වගේ ඇගේ කටින් පිටවුනේ එච්චරයි- මගේ හිසට නැංගේ උපන්තේකට නො නැංග කෝපයක්- "ආවද උඹ මෙතනටත් මාව පිස්සු ගන්වන්න- මාර දුව" යි කියමින් ඈ වෙත පැන්න මම අත ඔසවා පුලූවන් වේගයෙන් දුන්නා මූණ හරහා පාරක්- මගේ අත විසිවුණ වේගයට මාවත් වෙළෙවිව විසිවෙලා වැටුනා- සෝමාගෙයි - ලිලීගෙයි කෑ ගැසීම මට යාන්තමින් ඇසුණෙ-

නැවත මට යාන්තම් සිහියට ලැඛෙන විට සෝමාට සිහි නැතිවෙලා සිටියේ- ලිලී ඇයට පවන් ගහනවා- පැය දෙක තුනක් ගිහිල්ලත් සෝමාට සිහි ආවේ නැති හින්දා ලඟ ගෙදරක හිටිය වෙද මහත්තයෙක් එක්කගෙන ආවා. වෙත මහත්තයත් නොයෙක් දේවල් කරා. නමුත් එළිය වැටෙන තෙක් සෝමාට සිහිය ආවේ නැහැ. මම ගහපු පාරට සෝමාගේ ඔලූව බිත්තියේ ඇනිලා ඈ මුණින් වැටිලා තියෙනවා. වෙද මහත්තයා සෝමාව හොඳට පරික්ෂා කරලා අන්තිමේ දී කිව්වා ලෙඩා සුමාන ගනණක වයස ගැබ්බරකින් සිටිනවා කියලා. සිහි සම්පත් නැතිව වැටිලා හිටි මට වෙදාගේ කථාව යාන්තමින් ඇහුනා.

සෝමා සිහි වුනායින් පස්සේ සාක්කුවට අත යවලා අහුවුන ගණනක් සල්ලි ලිලීට දීලා මම සෝමත් එක්ක ගෙදර ගියා- ගිය ගමන් තවත් බෝතල් බාගයක් හිස් කරා- මම ඇඳේ හාන්සි වුනා- ඉකි බිඳ බිඳ සෝමා අනික් කාමරේ අඬනවා අහ අහාම මම නිදා ගත්තා- -

මට ඇහැරුණේ හවස් වෙලා- මම නම් බලාපොරෝත්තු වුනේ නෑ සෝමව දකින්නට- පුදුමයකට වගේ මට පෙනුණා ඇඳ ලඟ කනප්පුවක උණු උණුවේ කෑම ඇරලා තියෙන බව. මම ටිකක් වටපිට බලනකොටම සෝමා ඇතුල් වුනා වතුරු වීදුරවකුත් අතේ ඇතිව. මාව ඇහැරිලා ඉන්නවා දුටු සෝමා ටිකක් පැකිලූනා- වතුරු වීදුරව කනප්පුව මත තැබූ ඈ බිම් බලාගෙන බොහෝ වෙලා හිටියා. මම හොඳට බැලූවා මා ඉදිරියේ බෙල්ල නමාගෙන සිටි සෝමා දිහා- ඈ කොයිතරම් වැහැරිලාද? ඒ එක්කම වෙදා කිව්ව කතාව සිහිවුනා? - ඈ ගැබ්බරින් - ඈට ලඟදී පුතෙක් හම්බ වේවි- මගෙයි ඇගෙයි ලෙයින් හැදූ පුතෙක් හම්බ වේවි. මගේ ඇඟ පුරාම අමුතු උෂ්ණයක් දිව ගියා. මට හිතුනා ඇයව බදාගෙන සිපගන්න- දෙපතුල සිඹලා මගෙන් මෙපමණ කලක් වෙච්ච වැරදි වලට භයානක අපරාධ වලට සමාව ඉල්ල ගන්න. එහෙත් මට නැගිටින්නට ඉඩක් ලැබුණේ නැහැ. ඈ මගේ කකුල් දෙක බදාගෙන කඳුළු වලින් මාව නෑව්වා-

"අනේ! විමල් ඉතින්වත් හිතන්නකෝ විමල්- මා ගැන හිතන්න එපා - මගේ කුසේ ඉන්න ඔබේ ලේ කැටියා ගැන හිතලා හොඳ මිනිහෙක් වෙන්න විමල්- එදා වෙදා ඒක කිව්වේ නැත්නම් මෙලහකටත් ඔබට දකින්න ලැබෙන්නේ මගේ මළ කඳ. ඒ වුනත් මගේ කුසේ තියෙන ඔබේ ලේ බිඳ හින්දාම මම ජීවත් වෙනවා - විමල් දැන්වත් ඉතින් හොඳ මිනිහෙක් වෙන්න. විමල් - අනේ විමල්-"

"ඒ වෙලාවේ මගේ හිතට නැගුණ හැගීම් මට කියාගන්න බැහැ මහත්තයෝ- මා ගැන මගේ හිතේ ඒ වෙලාවේ නැගුණ ලැජ්ජාව- කෝපය- සෝමා ගැන මගේ හිතේ ඇතිවුන ශෝකය- මේවා කොහොම කියන්නද මම වචන වලින්…"

ඔහු මේ වචන කීවේ ඉකියෙන් හිරවූ උගුරෙනි. කඳුලූ කැට දෙකක් ඔහුගේ දෙනෙතින් රූරා බැස්සේ ය. දෝතෙහි හිස ඔබා ගත් ඔහු මොහොතකින් ඉකි ගැසුවේය. නැවත වහාම ඉස කෙලින් කොට පසෙක තිබු බෝතලයක අතට ගෙන උගුරු කීපයක් බීගෙන බීගෙන ගියේය. කඳුළු වියළුණි. නැවත ඔහු ප්‍රාණවත් විය.

"මට මගේ වැරදි හොඳටම අවබෝධ වුනා. නැවත එවැනි වැරදි නොකරන්නට තීරණය කරගත්තා- කොතරම් වේදනා සහගත වුවත් ඒ දුක්බර අතීතය අමතකර කරලා ජීවත් වෙන්න පුළුවන් බව සෝමා මට තේරුම් කලා. අපේ අලූත් ජීවිතයේ තිබුණේ එකම අඩුව මට රස්සාවක් නැති කමයි. ටික දවසක් සෝමත් මමත් උත්සහ කලා රස්සාවක් සොයාගන්න. නමුත් බැරිවුනා. අන්තිමේ දී සෝමාගේ අවවාද පරිදිම මම ගියා මා මුලින් රස්සාව කල තැනටම. ගොහිල්ලා කළමනාකාරයට සම්පුර්ණ සත්‍යය හෙළි කළා. ලිලී කොටස අත් හැරළ. මට රස්සාව ලැබුණා…

පලමු වන සුමානේ හොඳින් වැඩ කටයුතු කරා මේ කාලය තුල රා අරක්කු පොදක් කටේ තිබ්බේ නැහැ. එදා සෙනසුරාදා දවසක් - මම කන්තෝරුවට යන්න කලින් පිටත් වුනා. එදා ගියේ ලිලීවත් බලලා යන්න අදහසිනුයි- එදා සිද්දියෙන් පසු මට ලිලී ගැන කිසිම ආරංචියක් නැහැ. මම යනකොට ලිලී හොඳටම අසනීපයෙන්- මා දීපු මුදල් වියදම් කරලා බෙහෙත් නම් අරන් තියෙනවා. නමුත් එන්න එන්නම තත්ත්වය අවදානම් වෙන බව පෙනුණා. ඈ යන්තම් මාව හඳුනා ගත්තා. ඇගේ ඇස් දෙකට කඳුළු බිංඳුවක් නැග්ගා- මා දුටුව ඈට මොනවාදෝ කියන්නට උවමනා වූ නමුත් අනු තද වෙලා. ඇගේ සුදුමැළි මූණෙන් ඇස් ඉවතට ගෙන කන්තෝරුවට යාමට පාරට බැස්ස මට හරි වේදනාවක් දැනුණා. පාර අයිනේ හිටගෙන ලේන්සුවෙන් මූණ වහගෙන මම ඉකි ගැසුවා- ඒ වනට විට ඊයේ පෙරේදා මා තුල ඇතිවූ අලූත් හැඟීම් මා කෙරෙන් තුරන් වෙලා- මම කෙලින්ම ගියා තැබෑරුමට- බිව්වා- බෝතලයක්ම බිව්වා- ගියා කන්තෝරුවට වැනි වැනී- එදා මාව දොට්ට දැම්මේ සදහටමයි. මම ගියේ ලිලීගේ ගෙදර- ඒක හිස්- අහල පහල උදවිය ලිලීව හොස්පිටල් ගෙනිහිල්ලා- එහිදී ඈ මලාලූ- ඒත් මා ගියේ නෑ මිනිය බලන්නවත්-

මම කෙළින්ම ගියා ගෙදරට- සෝමා තේරුම් ගත්තා වෙලා තියෙන හරිය- - ඈ ඇඬුවා දෙඩුවා- ඇගේ කඳුළු වලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? නැවත රස්සාවක් කරන්න ගියේ නෑ- මට ඕනෑ බොන්නයි- උදේ හවස එක විදිහටම බිව්වා මම- සෝමාටත් එන්න එන්නම අසනීපේ වැඩිවුනා- අටවෙනි මාසේ ඇයට ළමයා හම්බවෙන තෙක් ඇගේ අතකර කණකර බඩු වලින් තමයි ජීවත් වුනේ- ඒවා විකුණලා ලැබෙන මුදල් වලින් තමයි ඈ මගේ බෝතලේටත් ඈ- මුදල් දුන්නේ-

ඔබ හිතනවා ඇති - මට හිතක් පපුවක් නෑ කියලා- එහෙම හිතන්නට එපා- මම මගේ දරුවට ආදරෙයි- මගෙ සෝමට ආදරෙයි- ඒ වුනත් ඒ ආදරේ මට දැනෙන්නේ අඩු ගානේ බෝතල් දෙකක්වත් වැදුනහම තමයි.

මගේ බෝතලේට සෝමා කොහොම හරි මුදල් දෙනවා- ඉඳලා හිටලා මට දොස් කියනවා තමයි- ඒත් මම දන්නවා ඈ මට ආදරේ විත්තිය… මට බොන්න නැතිව හාමතේ වගෙයි- මගේ හිතේ මොකවත් නෑ ඒ වෙලාවට- මට මුකුත්ම දැනෙන්නේ නෑ ඒ වෙලාවට- මම ඔහේ අහස දිහා බලාගෙන ඉන්නවා- එතකොට ඈ දැනගෙන සත පනහක්- හැටක් මගේ අතේ තියනවා-

මම මගේ සෝමට කොතරම් ආදරේ ද? මගේ චූටි දරුවත් මාත් ඈත් ජීවත් වෙන්නේ ඇගේ රස්සාවෙන්- මට මේ මගේ යාලූවා හම්බවෙන්න පුලූවන්ද ඇගේ රස්සාව නැත්නම්- මගේ සෝමා විඳින දුකක්-"

"ඈ එහෙනම් රස්සාවක් කරනවා?"

"ඔඃ- ඔඃ- ඔව්- ඇයි මම කීවේ ඇගේ රස්සාවෙන් අපි ජීවත් වෙන බව- මොකක්ද දන්නවාද ඇගේ රස්සාව?"

"මොකක්ද?"

"ඇගේ ඇඟ කුලියට දීම - මේ වෙලාවේ ඇය රස්සාවට ගිහිල්ලා එයා එනකන් තමයි මම ඉන්නේ"

"මොනවා ඇගේ රස්සාව ගණිකා වෘත්තිය- උඹ ජීවත් වෙන්නේ- බොන්නේ ඇගේ රස්සාවෙන් උපයන මුදලෙන්!"

"ඔඃ- ඔඃ- ඔඃ ඔව්-"

"විමල් ඔයා ඉන්නවා ද ඔතන" යි දුබල කටහඬක් මීදුම අතරින් ගලා ආවේය. මම හිස හරවා බැලිමි. අප දෙසට එන ගැහැණියකගේ ඡායාව මීදුම අතරින් මම දිටිමි.

දෙපයින් සිටීමට නොහැකි තරමටම ඈ වෙහෙස වී සිටින බව අප වෙත ලංවූ ඈ දෙස බැලු මට පෙණුනි. ඇගේ හිසකෙස් ලිහිල්ව තිබිණ. නළල පුරා වැසුණ කෙස් රොදට යටින් පෙනුණ දෑස මලාණිකය. වල ගැසුන දෙකම්මුල් සහිත ඇගේ දිරාගිය මුහුණේ අකාලේ මැකෙන රූමත් කමේ ලකුණු තවමත් පැහැදිලිව පෙනේ. මදක් කබල් කලූ තිත් සහිත ලිහිල් හැට්ටයකින් ඇගේ උඩුකය වැසුණ අතර පොඩිවුණ රැලි සහිත කුණු තැවුරුණු දුහුල් සාරියක් ඇගේ බඳේ යාන්තමට වෙලී තිබුණි. විදුලි එලියට මලානිකව පෙණුන ඇගේ දෙඇස උදාසීන ලෙස මගේ ඇසේ සිට දෙපා තෙක් දිව ගියේය. මගේ මුහුණ බලා යාන්තමට සිනාසුනු ඈ- නැගී සිටීමට දෙපයට දිරි ගන්නා ඇගේ සැමියා දෙස බැලූවාය.

"ඉක්මනටම යමු යන්න පුතා ඇහැරිලාද දන්නේ නෑ" යි ඈ දුබල ලෙස පහත් හඩින් කෙදිරි ගෑවාය. මහ ලැජ්ඡාවක ලකුණු ඇගේ කඩහඬෙහි ගැබ්වී තිබිණි.

තතන, තතනා දෙපයින් සිටගත් ඔහු අන්තිම රා උගුරද බී බෝතලය මහත් වෑයමින් වැවේ ඈතට විසි කළේය. මීදුමේ නොපෙනී ගොස් එය වැව් දියට වැටෙන ශබ්දය, බොල් හඬින් මට ඇසුණි. දෙකම්මුල් පිම්බෙන සේ කටට සුලං පුරවා ශබ්ද නගා පිටකල ඔහු නළල පුරා ඇස් ද වැසෙන සේ වැටී තිබෙන කෙස් ඇඟිලි වලින් පස්සට පීරා ඇගේ අතකින් අල්ලාගෙන මා දෙස හිස හරවා බැලූවේය. "අපි යනවා-"

මම කිසිවක් නොකීවෙමි. පා බකල ගසමින් පැද්දි පැද්දී ඔහු ඇගේ අතේ එල්ලී ගමන් කරයි. පහතට නැමුණ හිස සහිත ඇගේ දුබල සිරුරත්, එකල මෙකල වෙමින් ඈ පසුපස යන ඔහුගේ වැරැහැළි එල්ලූනු සිරුරත් මීදුමේ ගැලී කෙමෙන් නොපෙනී යනු මම බලා සිටියෙමි.

එදෙසින් මා ඇස් ඉවතට ගත්තේ කුකුළෙකුගේ හැඬලීම ඇසීමෙනි. කුකුළන් හඬලන්ට පටන්ගෙන බොහෝ වේලාවක් ගත වී ඇති බව අහස දෙස බැලු මට වැටහිණි. ඔහුගේ කතාවට මුලූ සිතම යොමු කරගෙන සිටි මට හැඬලීම ඇසුනේ නැත. ඉමක් කොනක් නෑර පැතුරුණු මීදුම් කඳ මදින් මද තුනී වෙමින් පවති. කෙමෙන් ආලෝකමත් වන අහසේ විසුරුණු වලාවන් කෙමෙන් දම් පැහැ ගැන්වෙයි. තවමත් තද නින්දේ පසුවන නගරයේ වීථීවල පමණක්, බස් කාර් හඬ වඩාත් අධික වෙයි. කල් තියාම පිබිඳුණ කුරුල්ලෙක් අසල ගසේ සිට උදා ගීයක් ඇරඹුවේය. මගේ දෙනෙත් නිදිමතෙන් බර වෙයි. පිණි පෙඟුණ බිම අඩි තබන මම මීදුම මතින් කාමරය කරා පිය නැගීමි. 


සයිමන් නවගත්තේගම

No comments:

Post a Comment